Gossips

දහසක් ඉල්ලු වතු කම්කරුවන් පොලිසිය විසුරුවා හරි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ එක්වූ වතු කම්කරුවන්ගේ දූ දරුවන් ඇතුළු පිරිසක් සිදුකරන විරෝධතාව පොලිසිය විසින් විසුරුවාහරිනු ලැබුවා.
පැය 7 කට අධික කාලයක් ගත කරමින් විරෝධතාකරුවන් වර්ෂාව නොතකමින් විරෝධතාවයේ නිරත වූ අතර ඒ හේතුවෙන් ගාලූමුවදොර පාරට ප්‍රවිශ්ඨ වීම ද සම්පූර්ණයෙන් ඇණ හිට තිබුනා.
වතුකම්කරු දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා පවත්වන මෙම විරෝධතාව අද පෙරවරු 10 යි 30 ට පමණ ලෝටස් වටරවුමෙන් ආරම්භ වුණා.
එහිදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළ නොහැකි පරිදි පොලීසිය මාර්ග බාධක යොදා තිබුණා.
කෙසේ වෙතත්, පැයකට පමණ පසු ගාලූමුවදොර පිටිය දක්වා ගමන් කිරීමට විරෝධතාවයේ නිරත පිරිස්වලට පොලීසිය අවස්ථාව ලබාදුන්නා.
අනතුරුව පෙරවරු 11 යි 30ට පමණ ගාලූමුවදොර පිටියට පැමිණි විරෝධතාකරුවන් එහි සිට සිය විරෝධතාව සිදුකළා.
පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමත් සමඟ පොලීසිය යළි මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් වැළැක්වීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
විරෝධතාකරුවන් මේ වනවිටත් ගාලූපාර අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැදී සිටිනවා.
මේ අතර, මෙම විරෝධතාවට සහය පළ කරමින් පිටකොටුව හෙට්ටිවීදිය ඇතුළු වෙළදසැල්වල අද කළුකොඩි ප්‍රදර්ශනය කර තිබුණා.
එමෙන්ම, වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා හැටන් නගරයේ අදත් වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.
ඊට සහය පළ කරමින් හැටන් නගරයේ සියලූ වෙළදසැල් වසා දමා තිබුණේ කළු කොඩි ප්‍රදර්ශනය කරමින්.
එමෙන්ම, වතුකම්කරු වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා සංදේශයක් භාරදීම සදහා ඊයේ බගවන්තලාව නගරයෙන් ආරම්භ කළ පාගමන අද දෙවන දිනට හැටන් නගරයෙන් ආරම්භ වුණා.