Gossips

දස සිල් මාතාවක දූෂණය කළ චීවරධාරියෙකු රක්ෂිත බන්ධනාගාරට

43 හැවිරිදි දස සිල් මාතාවක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු චීවරධාරියෙකු සහ එම චීවරධාරියාගේ රියදුරා පෙබරවාරි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජානක සමරසිංහ අද නියෝග කළා.
සැකකාර රියදුරා එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙලෙස බන්ධනාගාර ගතකළ චීවරධාරියා පදවිය – දහඅටේ කණුව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන අතර, සැකකාර රියදුරා තලාව – කෝන්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
43 හැවිරිදි සැකකාර චීවරධාරියාට එරෙහිව පදවිය මහේස්ත්‍රාත් අධිකරණයේ ළමා අපයෝජන නඩුවක්ද පවතින බව සඳහන්.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ පසුගිය 16 වනදා මෙම දසසිල් මාතාව අනුරාධපුර රෝහලේ සායනයකට පැමිණ ඇති බවයි.
පසුව රුවන්වැලි සෑය වැඳපුදාගැනීමට යෑමේ අරමුණින් අනුරාධපුර – මාකට් පෙදෙසේ රැඳී සිටි අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් දසසිල් මාතාව රුවන්වැලි සෑය අසළට ඇරලවන බව පවසා ථූපාරාමය ආසන්නයේ විශ්‍රාම ශාලාවකට රැගෙන ගොස් තිබෙනවා.
එහිදී මෙම අපරාධය සිදුව ඇති බව ප්‍රකාශ කළ පොලීසිය පසුව සැකකරුවන් එම මෝටර් රථයෙන්ම දස සිල් මාතාව රැගෙනවිත් අනුරාධපුර මාකට් පෙදෙස අසළ දමා ගොස් ඇති බව අධිකරණයට දන්වා සිටියා.
බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිනියක සමඟ පැමිණ දසසිල් මාතාව සිද්ධිය පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවයි.