Gossips

දරුවෙකු මියයෑම නිසා ගළහ රෝහල නොසන්සුන් – STF සහ කැරළි මර්දනයත් කැඳවයි

ගලහ මූලික රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු මියයාමත් සමඟ අද එම රෝහල් භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකයද කැඳවීමට සිදුවුණා.
සෙම් රෝගයක් හේතුවෙන් සංකර් සචී නැමැති මෙම කුඩා දරුවා ඔහුගේ දෙමව්පියන් විසින් රෝහලට ඇතුළත් කර තිබූ නමුත්, රෝහලේ වෛද්‍යවරුන් මෙම දරුවා පරීක්ෂා නොකළ බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.
පසුව අදාළ දරුවා රෝහල් බලධාරීන් විසින් ත්‍රීරෝද රථයක නංවා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත පිටත් කර යවා ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමට පෙර දරුවා මියගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ දරුවා පදිංචි ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශවාසීන් ගලහ මූලික රෝහලට පැමිණ එහි කාර්යමණ්ඩලයට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළා.
වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහලේ සේවය කරන අතර, ඔවුන්ට රෝහලෙන් පිටතට පැමිණීමට නොහැකි වන ආකාරයෙන් පිරිස තවමත් රෝහල වටා රැස්ව සිටිනවා.
ඔවුන් රෝහලේ දොර ජනෙල් කිහිපයකටද ගල් ප්‍රහාර එල්ල කර හානි සිදුකර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
අද පස්වරුවේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ් නියෝජිතයෙකු එහි පැමිණ මෙම වෛද්‍යවරුන් දෙදෙනා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත මාරු කර යවන බවට පවසා තිබුණත්, මියගිය දරුවාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසිර ගියේ නැහැ.
මේ වනවිටත් පොලිස් කැරලි මර්දන ඒකකය, ජල ප්‍රහාරක රථ ද සමඟින් එම ස්ථානයේ රැඳී සිටිනවා.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ශාන්ති සමරසිංහගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර, ඇය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.