Gossips

දරුවන් ආරක්ෂා කරන්න ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

දරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අරමුදලක් ඉදිරි සති කිහිපය තුළ පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දරුවන් සුරැකීමේ ජාතික වැඩසටහනට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
දරුවන් මුහුණ දී සිටින ගැටලූ පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමග දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ මතුව ඇති විවිධ සමාජ අභියෝග සමග දරුවන්ගේ ආරක්ෂාව පිළිබද පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බවයි.
වත්මන් දරු පරපුරට එල්ලවී ඇති අභියෝග පිළිබඳ සෑම ක්ෂේත්‍රයකම පුළුල් සංවාදයක් ඇති කිරීම සහ සාකච්ඡාවට ලක් කිරීම එහි අරමුණ බව ද ඔහු කියාසිටියා.
දරුවන්ගේ ආරක්ෂාව පිළිබද කටයුතු කිරීමේ දී දෙමාපියන් දැනුවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මේ අතර පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබද තීරණයට තමා එකග වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කියාසිටියා.
5 ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගේ අවධානය යොමු විය යුතු බවයි ඔහු සඳහන් කළේ.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ළමා ප්‍රඥප්තියේ සදහන් කාර්යයන් සහ වගකීම් ඉටුකිරීමට රජයක් ලෙස බැදී සිටින අතර රටේ දරු පරපුර වෙනුවෙන් සියලූ යුතුකම් ඉටුකිරීමට තමා වගකීමෙන් කටයුතු කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.