Gossips

දයාසිරිට සහ සමරසිංහට,නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස නිදහස් පක්ෂ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර තිබෙනවා.
නිදහස් පක්ෂයේ නව නිලධාරි කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවක් පැවැත්වුණා.
එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් පත් කිරීම සිදුවූ බවයි නිදහස් පක්ෂයේ උප ලේකම්වරයෙකු වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ.
මෙම හමුවට නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද එක්ව සිටි බවයි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ද 16යේ කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි වී සිටියේ නැහැ.
මේ සම්බන්ධයෙන් ඊයේ හිරු ටී.වී. සලකුණ වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ නව තනතුර සම්බන්ධයෙන් තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති බවයි.
එමෙන්ම තමන්ගේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.