Gossips

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි (ඡායාරූප)

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, නාමලුව ප්‍රදේශයේදී ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
ලොරි රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකවරයායි.
බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මනම්පිටිය ප්‍රදේශයේ සිට කොළඹට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ පොළොන්නරු ප්‍රදේශයේ සිට කොළඹට ඇඟළුම් කම්හලක රෙදි ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ටිපර් රථය මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් ආසන්නයේ නවතා තිබියදී පිටුපසින් පැමිණි ලොරි රථය නවතා තිබූ ටිපර් රථයේ ගැටී තිබෙනවා.
ලොරි රථයේ රියදුරාට නින්දයාම අනතුරට හේතුවී ඇති අතර සිගිරිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඡායාරූප – දඹුල්ල, කාංචන කුමාර