Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුවන මාරක අනතුරක් CCTV කැමරාවේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත වට්ටක්කා ගොඩක් ඉදිරිපිට නිදා සිටි අයෙකු කන්ටේනර් රථයකට යට වීමෙන් අද (16) දින අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සේවය සඳහා පැමිණ සිටි අයෙකු බව සිදු කරන මූලික පරීක්ෂණවලදී හෙළි වීතිබෙනවා.
මෙම පුද්ගලයා කන්ටේනර් රථයකට යට වන ආකාරය පිළිබඳවත් මොහු අලුයම් කාලයේ ආර්ථික මධ්‍යස්ථානයේ පාරේ නිදා සිටි ආකාරයත් ආර්ථික මධ්‍යස්ථානයේ සවිකොට ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා අළුයම් කාලයේ අධික බීමත්ව මධ්‍යස්ථානයේ ප්‍රධාන මාර්ගයේ නිදා සිටිමින් නැවත වැටි වැටී ඉදිරියට පැමිණ වෙළඳ සැලක් ඉදිරිපිට ගොඩගසා තිබූ වට්ටක්කා ගොඩක් වසා තිබූ ටෙන්ට් රෙදි කැබැල්ලක් රැගෙන හිසේ සිට වසාගෙන මාර්ගයේ නිදා ගන්නා අයුරු එම කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.
අළුයම 4.50 පමණ වන විට කන්ටේනර් රථයක් පැමිණ කළු රෙද්දකින් සිරුර වසා ගෙන මහපාරේ නිදා සිටි පුද්ගලයා යට කරගෙන යන ආකාරය කැමරාවල සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් අලුයම කාලයේ දඹුල්ල පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී මෙම අනතුර සිදු වූ ආකාරයක් හෝ සිදු කළේ කවුරුන් ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
කන්ටේනර් රථයක් නවතා තිබීම හේතුවෙන් පොලිසියේ සැකය ඒ දෙස යොමු ව තිබෙනවා.
එහෙත් රියදුරු ඒ වනවිටත් රථයේ සිට නොමැති බවයි සඳහන් වන්නේ.
පොලිසිය සැකපිට කන්ටේනර් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ආර්ථික මධ්‍යස්ථානයේ සීසීටීවී පද්ධතිය පරීක්ෂා කර තිබෙනවා.
එහිදී රියදුරගේ තවත් උපක්‍රමයක් හෙළි වීම විශේෂත්වයක්.
යටවීමත් සමඟ කන්ටේනර් රථය ඉදිරියේ නවතා එය අසන්නේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තල්ලු කරගෙන විත් රියදුරු එම අනතුර සිදුවූ ස්ථානයේ නවතා එම ස්ථානයෙන් පිටත්ව යන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.