Gossips

දඩ අඩු කරන්නේ නැහැ – රජය බස් වර්ජකයන්ට කියයි

පෞද්ගලික බස් රථ සේවක සංගමයක් අද ආරම්භ කළ වැඩවර්ජනය අසාර්ථක බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වෙතත්, වර්ජනය සංවිධාන කළ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ.කේ.කුමාරරත්න රේණුක කියා සිටියේ වර්ජනය හෙටත් ක්‍රියාත්මක බවයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය මෙම වර්ජනය ආරම්භ කළේ නව දඩපත් ගාස්තුව ඉහළ නැංවීමත් සමඟ සිය වෘත්තිය සිදුකිරීමේදී දැඩි දුෂ්කරතාවන්ට පත්වන බව පවසමින්.
ඊට අමතරව, සේවකයින්ට පවතින යටිතල පහසුකම් ගැටළු, වැටුප් ගැටළු සහ රැකියා සුරක්ෂිතභාවයේ පවතින ගැටළුවලට විසඳුම් ලබාගැනීමද ඔවුන්ගේ ඉල්ලීම් අතර වනවා.
කෙසේ වෙතත්, දිවයිනේ පළාත් 07 කම වර්ජනය ක්‍රියාත්මක නොවූ බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.
බස්නාහිර සහ දකුණු පළාතේ පමණක් වර්ජනය ක්‍රියාත්මක වූවද එයද ගමනාගමන කටයුතුවලට සැලකිය යුතු මට්ටමින් බලපෑමක් එල්ල නොකළ බව වාර්තා වනවා.
බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක බස් රථවල අඩුවක් දක්නට ලැබුණු අතර, දකුණු පළාතෙන් ආරම්භ වන දුරගමන් සේවා බස් රථවල යම් අඩුවක් දක්නට ලැබුණා.
මෙම වර්ජනයට පළමුව සහාය පළ කළ වරාය පෞද්ගලික බහාලූම් රථ සංගමයේ සභාපති සමන් කීර්ති පසුව ඉන් ඉවත් වන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාරට දන්වන ආකාරය ද අප වෙත වාර්තා වුණා.
කෙසේ වෙතත්, අද ආරම්භ කළ වර්ජනයට මෙතෙක් බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවයි ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ.කේ.කුමාරරත්න රේණුක කියා සිටියේ.
අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර ප්‍රකාශ කළේ නැගුණු චෝදනාවලට කොළඹදී අද පිළිතුරු ලබාදුන් අතර, මෙම වර්ජනය අසාර්ථක බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.
මේ අතර, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා බස් වර්ජනය අසාර්ථක බව කියා සිටියා.
එමෙන්ම, ඉහළ දැමුණු දඩ ගාස්තු සංශෝධනය නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.