Gossips

දකුණේ වෛරස් උණ ව්‍යාප්තිය තවදුරටත් -වැඩිහිටි රෝගීන් අඩුවෙද්දී, ළමා රෝගීන් ඉහළ යයි

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට මුහුණදීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
දැනට ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබන වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන කුඩා ළමයින් 48 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සඳහන්.
පසුගිය මැයි මාසය තුළ පමණක් කුඩා ළමයින් 14 දෙනෙකු වෛරස් උණ රෝගය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහෙත්, මෙම උණ රෝගයට ලක්ව තම රෝහලට පැමිණෙන රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනාරත්න කියා සිටියේ.
කෙසේ නමුත්, දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පවතින කාලගුණ තත්ත්වයත් සමඟ කුඩා දරුවන් අතර තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඞී.යූ.කරුණාරත්න පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වැඩිහිටි රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුණද රෝගී දරුවන් සංඛ්‍යාවේ අඩුවක් සිදුව නොමැති බවයි.
මේ අතර, මෙම වෛරස් උණ රෝගය පැතිර යාමත් සමඟ ඒ සඳහා එන්නතක් ලබාදීම සම්බන්ධයෙන්ද ජනතාව අතර කතාබහට ලක්වනවා.
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලට බොහෝ දෙමව්පියන් එන්නත ලබාගැනීම සඳහා යොමුවන බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, යම් එන්නතක් නිර්දේශ කිරීම සිදුකරන්නේ විශේෂඥ කමිටුවක් මගින් බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ.
උණ රෝගය හේතුවෙන් ආසන්නතම මරණ 03 ක් වාර්තා වුණේ මාතර – තිහගොඩ, කෝමංගොඩ සහ කරගොඩඋයන්ගොඩ ප්‍රදේශවලින්.
මේ අතර, වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් හම්බන්තොට – දෙබරවැව මූලික රෝහලේ සායන කටයුතු මේ වනවිට නවතා දමා තිබෙනවා.
දෛනික සේවා කටයුතු සදහා වෛද්‍යවරුන් 52 නෙකු එහි සිටිය යුතු වුවත් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව 31 ක්.
වෛද්‍යවරුන් අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කළ ද මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බවටයි දෙබරවැව මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රභාත් ලියනාරච්චි සදහන් කළේ.
ඒ අනුව, රෝහලේ කායික, නාරි සහ ප්‍රසව මෙන්ම ශල්‍ය සායන කටයුතු නවතා දැමූ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.