Gossips

දකුණේ විහාරස්ථානයකදී ඇතාගෙන් පහර කෑ ඇත්ගොව්වා, බීමතින් සිටි බව හෙළිවේ

පෙරහැර වලට සහභාගි වන අලි ඇතුන් සහ ඇත්ගොව්වන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් දියත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව තිස්සමහාරාම රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ එම විහාරයට අයත් ‘සමන්’ නැමැති හස්තියාගේ පහරදීමෙන් ඇත්ගොව්වෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්.
දෙබරවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (24) රාත්‍රියේ පැවැති නවම් මහා පෙරහරට සහභාගි කරවීම සඳහා මෙම හස්තියා රැගෙන විත් තිබූ අවස්ථාවේ මෙම පහරදීම සිදුව තිබුණා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ හස්තියා භාරව කටයුතු කළ සහායක ඇත්ගොව්වෙකු වන කතරගම ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙක්.
පෙරහරට හස්තියා සහභාගි කරවීම සඳහා නාවා පිිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී පහරදීම සිදුව ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රධාන ඇත්ගොව්වා එහි රැදී සිට නැහැ.
සිද්ධිය වන අවස්ථාවේ ඇත් ගොව්වන් මත්පැන් පානය කර සිටි බවයි විහාරස්ථානයේ හිමි නමක් සහ ප්‍රදේශවාසියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පහරදීමෙන් අනතුරුව සහායක ඇත්ගොව්වා දෙබරවැව රෝහලට ඇතුළත් කල ද ඔහු ඒ වන විටත් මියගොස් තිබෙනවා.
තිස්සමහාරාම රජමහාවිහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන් කියා සිටියේ අලි ඇතුන් පෙරහරට සහභාගි කරවීමට පෙර වනජීවි නිලධාරීන් හෝ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.