Gossips

දකුණේ වර්ජනයට අධිවේගයත් එක්වන ලකුණු

අද දිනයේ සේවයට වාර්තා නොකරන දකුණු පළාත් සියලූ දුර ගමන් සේවා බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ බලපත්‍ර අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
සිය වර්ජනය නවතා දමන ලෙසයි එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර, වර්ජනයේ නිරත සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර, දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයත් සමඟ එම මාර්ගවල ධාවනය කළ ශ්‍රී ලංගම බස් රථ 5කට ගල් ප්‍රහාර එල්ල වී තිබෙනවා.
අම්බලන්ගොඩ සහ ගාල්ල අතර ප්‍රදේශවලදී ඊයේ රාත්‍රියේ මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්.
අම්බලන්ගොඩ – ඌරවත්ත පාලම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
තම ගැටළුවලට විසදුම් ලබාදීමට ක්‍රියා නොකරන්නේ නම්, අධිවේගී මාර්ග බස් රථ සේවකයින්ගේ ද සහාය ලබා ගනිමින් අඛණ්ඩ වර්ජනයකට යොමු වන බව මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ ප්‍රකාශ කළා.
බස් රථ සේවකයින් සිදුකරන වර්ජනය හේතුවෙන් අද දිනයේ කොළඹට පැමිණෙන මගීන් සහ කාර්යාල වෙත පැමිණෙන පිරිස් දැඩි අපහසුතාවකට පත්වුණා.
කෙටි දුර ධාවන බස් නැවතුම්පොළ දුරගමන් සේවා බස් රථ නැවැත්වීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් දුරගමන් සේවා බස් රථ මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ දිනයේයි.