Gossips

දකුණේ යළිත් වෙඩි පත්තු වෙයි – සංඛ්‍යාලේඛන නිලධාරියා ඝාතනය, පෞද්ගලික ආරවුලක්

දකුණු පළාතේ ප්‍රචණ්ඩත්වය යළි මතු කරමින් මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහළ මාර්ගයේ අද සිදුවූ වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා.
අද උදෑසන 9ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ මාතර – පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජන හා සංඛ්‍යාලේඛන අංශයේ සේවය කරන නිලධාරියෙක්.
වලස්මුල්ල – අකුරැස්සවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම 44 හැවිරිදි මෙම නිලධාරියා, යතුරුපැදියෙන් සිය දරුවන් පාසලට රැගෙන ගොස් යළි සේවා ස්ථානය කරා යමින් සිටියදියි මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ ඔහු වෙඩි තැබීමට ලක්වූ ස්ථානය ඉතා පාළු ස්වභාවයකින් යුක්ත බවයි.
ඔහු පිටුපස යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවටයි පොලීසිය දැනට සැක පළ කරන්නේ.
ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති කරුණක්.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර, පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුවන්නට ඇති බවටයි පොලීසිය දැනට සැක පළ කරන්නේ.
එමෙන්ම, ඔහු සේවය කරන මාතර – පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරිය වන කේ.එන්. කෞශල්‍යා කුමාරි ද කියා සිටියේ ඔහු කිසිදු ආරවුලකට සම්බන්ධ නොවූ අයෙකු බවයි.
මාතර – රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිටදී ද පසුගිය සෙනසුරාදා වෙඩි තැබීමක් සිදුවූ අතර, එම සිද්ධියේදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා තවමත් කඹුරුපිටිය සහ මාතර යන රෝහල් වල ප්‍රතිකාර ලබනවා.
මේ අතර, ටී – 56 වර්ගයේ උණ්ඩ 3000ක් සමඟ අත්අඩංගුවට ගත් පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන ලද්දු රොෂාන් ඇතුළු සැකකරුවන් 4 දෙනා හෙට දිනය දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.
සුඛෝපභෝගී වෑන් රථයකින් සියඹලාණ්ඩුවේ සිට ගාල්ල දක්වා මෙම උණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
වෑන් රථයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා යොදන පතොරොම් 32ක් ද සොයා ගැනුණු අතර, මේවා රැගෙනවිත් ඇත්තේ අම්පාර – පොතුවිල් ප්‍රදේශයෙන් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.