Gossips

දකුණේ පැතිර යන වෛරස් උණ ගැන ජනාධිපතිගේ අවධානය

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීමේදී මුදල් ප්‍රතිපාදන ගැටලුවක් කර නොගෙන අදාළ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (28) සිදු කළ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයපාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙන යන වැඩපිලිවෙල පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණියා.
එහිදී අදාල නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ රෝග ව්‍යාප්තිය පාලනය සහ ප්‍රතිකාර කටයුතු සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙසයි.
කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා තිබෙනවා.
මේ අතර මැයි මාසයේදී පමණක් ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ වෛරසය වැළඳීමෙන් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක සඳහන් කළා.
මෙම කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ දරුවන් පස්දෙනෙකුත්, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දරුවන් තුන්දෙනා බැගිනුත් මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.