Gossips

දකුණේ පැතිර යන උණ රෝගයෙන් 13 ක් මරුට

දකුණු පළාතේ මේ දිනවල පැතිරයන වෛරස් උණ රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මෙම උණ රෝගය පැතිර යන බවයි.
මෙම රෝගීකාරක තත්ත්වය ආසාදනය වූ 84 දෙනෙකුගේ රුධිර සාම්පල මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.
ඉන් 27 දෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමොකොකාල් බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මෙම රෝග කාරකයට කුඩා දරුවන්ල ගර්භණී මව්වරුන් මෙන්ම හෘද රෝගීන් වැඩිවශයෙන් ගොදුරු විය හැකි බවයි.
මෙම රෝගී තත්ත්වය වැළඳුණු කුඩා දරුවන් සහ වැඩිහිටියන් බෝහෝ දෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම රෝහලේ ප්‍රතිකාර ලැබූ කුඩා දරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේද මේ වන විට මෙම වෛරසය පැතිර යමින් තිබෙන අතර එම දිස්ත්‍රික්කයේ රෝහල්වලද වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් බොහෝ දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.
මාතර, කඹුරුපිටිය මූලික රෝහලේද කුඩා දරුවන් 50 කට අධික පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබනවා.