Gossips

දකුණේ පාසල්වලින් මුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියකට විරෝධය

අධ්‍යාපන ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දකුණු පළාතේ පාසල් ඉලක්ක කරගෙන දැන්වීම් පුවරු සවි කිරීමේ ව්‍යාපෘතියකට මුදල් එකතු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මීට අදාළව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් පරිදි එක් පාසලකින් රුපියල් 4,000 ක් එකතු කිරීම බරපතල ගැටළුවක් බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දකුණු පළාත් අධ්‍යාපන ලේකම් යූ. වික්‍රමසිරිගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය පළාතේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකළ එකක් බවයි.
එමෙන්ම ඒ සඳහා කිසියම් විදුහල්පතිවරයෙකු අකමැත්ත දක්වන්නේ නම් මුදල් ලබා නොදී සිටිය හැකි බවද දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා කියා සිටියා.