Gossips

දකුණේ උණ විහිළුවක් කර නොගන්නැයි සුව ඇමතිට දැන්වීමක්

දකුණු පළාතේ ප්‍රදේශ රැසක පැතිරී යන වෛරස් උණ රෝගය සදහා ප්‍රමාණවත් පරිදි එන්නත් පහසුකම් හම්බන්තොට මහරෝහලේ ද නොමැති බව එම රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
රෝගය ආසාදනය වූ රෝගීන් 300 කට වැඩි පිරිසක් මේ වනවිට දකුණු පළාතේ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අනාවරණ වන්නේ.
ඔවුන්ගෙන් බහුතරය කුඩා දරුවන් බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වුණා.
මෙම උණ රෝගී තත්ත්වය හේතුවෙන් 15 දෙනෙකුට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි ආසන්නතම සිදුවීම කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිහගොඩ – කොමන්ගොඩ ප්‍රදේශයේ අවුරුදු එකහමාරක ළදරුවෙකු මියයාමයි.
උණ රෝගී තත්ත්වය හේතුවෙන් හම්බන්තොට මහරෝහලේ ළදරු ඒකකය තුළ මේ වනවිට රෝගීන් 100 කට අධික පිිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙවැනි තත්ත්වයක් තුළ හම්බන්තොට මහරෝහලේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු වීම් ක්‍රියාත්මක නොකරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියා.
එසේ නොවුණහොත්, ඉදිරියේදී වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක විය හැකි බවටයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හම්බන්තොට මහරෝහල් ශාඛාවේ සභාපති වෛද්‍ය ඩෙන්සිල් ඉන්දික අනතුරු ඇගවූයේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ ද දකුණු පළාතේ පැතිරී යන මෙම උණ රෝගය පිළිබදව අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී මෙන් සංදර්ශන නොපවත්වා මෙම ගැටලූව විහිළුවක් කර නොගෙන ජනතාවට විසදුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත යුතු බවයි.