Gossips

දකුණේ උණ, තවත් බිළිඳියන් දෙදෙනෙකු බිළි ගනී

මාස එක හමාරකට ආසන්න කාලයක් දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය වැළදීමෙන් තවත් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 8ක් පමණ වයසැති කුඩා බිළිදියන් දෙදෙනෙකු මෙලෙස පසුගිය දෙදින තුළ මිය ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එම බිළිදියන් දෙදෙනා ඇල්පිටිය සහ හික්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව දැනට එම වෛරස් උණ රෝගය වැළදීමෙන් දකුණු පළාතේ කුඩා දරුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති බවයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මීට අමතරව ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලදී ඇති බවට සැක කෙරෙන තවත් කුඩා දරුවන් 30කට වැඩි පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත්, පසුගිය දිනවලට සාපේක්ෂව මේ වන විට පළාතේ රෝහල් සඳහා උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය වැළඳුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි වෛද්‍ය අධිකාරි එන්.එස්.ධර්මතිලක පසුගිය දා ප්‍රකාශ කළා.