Gossips

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානයට මාරුවක්

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානය වෙත මාරුවීමක් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ තාවකාලිකව මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි.
රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේදී පසුගියදා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළවයි මෙම තාවකාලික ස්ථාන මාරුව ලබාදී ඇත්තේ.
එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වනතුරු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට ස්ථාන මාරුවක් ලබාදීම සුදුසු බවට පොලිස්පතිවරයාට සහ පොලිස් කොමසමට නිර්දේශ ලබාදුන් බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.
පවුලේ ඥාතීන් හිතවතුන් සහ ව්‍යාපාරික සබඳතා පැවැත් වූ පුද්ගලයින්ගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබුණේ පසුගිය 23 වැනිදායී.
එදින උදෑසන 10 ට පමණ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවටයි ඥාතීන් චෝදනා කළේ.
ඉන් අනතුරුව අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳකට නිර්නාමික ලිපියක් එවා තිබුණා.
එහි සඳහන්ව තිබුණේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය පසු එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවයි.