Gossips

දකුණු අප්‍රිකාව පැරදූ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්චේදයක් සනිටුහන් කරමින් දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණා.
ඒ දෙරට අතර පැවති දෙවන තරඟය කඩුලු 08කින් ජය ගනිමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරඟාවලි ජයග්‍රහණය ඉතිහාස ගතවන්නේ දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලැබූ පළමු ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙමින්.
පෝට් එළිසබෙත් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 222ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 154 ක් පමණයි.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාවේ සියලු ක්‍රීඩකයින් ලකුණු 128 කට ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා පිළිවෙලින් කඩුලු 04ක් සහ 03ක් බිඳ දැමුවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය 197ක්.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 02ක් පමණක් දැවී තිබියදී එය පසුකර ගියේ ඉතිහාස ගත ජයක් සනිටුහන් කරමින්.
එහිදී කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ අවශ්‍යම මොහොතේ සුපිරි ඉනිම් දෙකක් නොදැවී ක්‍රීඩා කරමින්.
එහිදී තරඟාවලිය පුරාවට අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84ක් රැස්කළ අතර සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුණා.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය එක් කඩුල්ලකින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
rnrnrn