Gossips

දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඒ කඩුලු පහක ජයක් හිමි කරගනිමින්.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 193 ක් පමණයි.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 31 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 196 රැස්කරමින් ජය සටහන් කරගනු ලැබුවා.
සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද උදෑසන ආරම්භවුණා.
ශ්‍රී ලංකා පිලේ කඩුලූ 7ක් අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුණු අතර, කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා හයවන කඩුල්ල සඳහා ලකුණු 91 ක් රැස් කළා.
තිසර පෙරේරා ලකුණු 49 කට දැවී ගිය අතර කුසල් ජනිත් සිය දසවන එක්දින අර්ධ ශතකය රැස් කරගැනීමට සමත්වුණා.
ඔහු දැවී යන විට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 81 ක්.
පන්දු 72 කින් රැස් කළ එම ලකුණු 81 ට හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.
තිසර පෙරේරා 49 යි. අකිල ධනංජය ලකුණු 11 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී කගිසෝ රබාඩා සහ ටබ්රයිස් ෂම්සි කඩුලු 4 බැගින් බිඳහෙලුවා.
මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා පිලට හිමිවන තරග ගාස්තුවෙන් සියයට 25 ක් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබසාධනය සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පිහිටුවන ලද අරමුදලට බැර කෙරෙනවා.
අදාළ අරමුදල පිහිටුවා ඇත්තේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණදෙන පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබසාධනය වෙනුවෙන්.