Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට කොටස සැප්තැම්බරයේ විවෘත වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 96 ක කොටස ලබන සැප්තැම්බර් මාසයේ විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති නිහාල් සූරියආරච්චි කියා සිටියේ මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතුවලින් සියයට 80 ක්ම අවසන් වී ඇති බවයි.
මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඉඩම් ලබාගැනීමේදී ගැටළු රැසකට මුහුණදීමට සිදුවුවද එය සාර්ථකව අවසන් කිරීමට හැකිවූ බවත් ඔහු සඳහන් කළා.
මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 103.2 ක්. ඒ සඳහා රජය ගිවිසුම් 4 ක් අත්සන් කර තිබෙනවා.
මේ අතර, ඔහු වැඩිදුරටත් සදහන් කළේ නුවරඑළියේ සිට කොළඹ දෙසට පැමිණෙන ජනතාව ගම්පොළ හරහා පේරාදෙණිය, කටුගන්නාව මාර්ගය මඟහැර රථ වාහන තදබදයකට ලක් නොවී ගම්පොළ – හෙම්මාතගම මාර්ගය ඔස්සේ මාවනැල්ලට පැමිණිය හැකි බවයි.
එමෙන්ම, අවුරුදු නිවාඩු සමය අවසන් වීමත් සමඟ දුර බැහැර ප්‍රදේශවල සිට යළි කොළඹ බලා පැමිණෙන රථ වාහන හේතුවෙන් අධිවේගී මාර්ගයේ සහ අනෙකුත් මාර්ගවල ඇති විය හැකි මාර්ග තදබදය අවම කිරීම සඳහා රියදුරන් පියවර ගත යුතු බව පොලිස් මූලස්ථානය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ විශේෂයෙන් මාර්ග දෙපස වාහන නතර කර තැබීමෙන් වළකින ලෙසයි.