Gossips

දක්ෂිණ අධිවේගයේ වැඩිම රථවාහන ධාවනය ඊයේ

වසරේ මේ දක්වා වැඩිම රථවාහන සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර ඇත්තේ ඊයේ (15) දිනයේදී බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම සංඛ්‍යාව 80,000ක් වන අතර, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේද රථවාහන 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනයේදී ගමන් කර ඇති බවයි අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක සඳහන් කළේ.
මේ අතර ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී රථවාහන වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 3285 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ.
ඉන් 140 දෙනෙකු බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය වසරේ මෙම කාලය හා සැසඳීමේදී මෙම වසරේ සිදුවූ රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
එසේම පසුගිය 13 වනදා සිට ඊයේ දිනය දක්වා විවිධ අනතුරුවලට ලක්වීමෙන් පුද්ගලයින් 684 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 04 ක අඩුවීමක් බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.