Gossips

දක්ෂිණ අධිවේගයේ ඉදි කිරීම්වල නිරත සේවකයෙකු රිය අනතුරකින් මරුට (ඡායාරූප)

කතරගම දක්වා ඉදි කෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව වල්සපුගල අන්තර්හුවමාරුව අසලදී සිදුවු අනතුරකින් සේවකයෙකු මියගොස් තිබෙනවා.
අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වල නිරත බවුසරයක් සේවකයෙකු පදවාගෙන යමින් සිටි යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
33 හැවිරිදි ඔහු කුඩාමස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
දිවා ආහාරය සඳහා ගොස් යළිත් සේවයට පැමිණෙමින් සිටියදී මෙම පුද්ගලයා අනතුරට ලක්ව ඇතැයි සඳහන්.
ඔහු ඉදි කිරීම් කටයුතුවලට යොදා ගන්නා බැකෝ යන්ත්‍රයක රියදුරෙක් වන අතර පසුපසින් පැමිණි බවුසරය ඔහු ගමන් කළ යතුරුපැදියේ ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අනතුරින් බැකෝ රථ රියදුරා එම ස්ථානයේම මියගොස් ඇති අතර බවුසරයේ රියදුරු රථය දමා පළාගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා ලබන සතියේ විවාහ වීමට සිටි අයෙක් බවටයි ඔහු සමග සේවය කළ පිරිස සඳහන් කර ඇත්තේ.
අනතුර සිදු කළ බවුසරයේ රියදුරාට රියදුරු බලපත්‍රයක් ද නොමැති බවට හෙළිවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර පිළිබඳ සූරියවැව පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර මියගිය පුද්ගලයාගේ සිරුර සූරියවැව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර