Gossips

තේ අර්බුදය විසදන්න, ජපානය වෙත රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක්

ජපානයට අපනයනය කරන මෙරට තේ සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව ජපාන රජයෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් සිදුකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.
මෙරට තේවල අඩංගු එම්.සී.පී.ඒ. නැමති රසායනිකයේ අවම අවශේෂ අගය සංශෝධනය කරන ලෙස එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ සභාපති ජයන්ත ගවරම්මාන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන්කළේ.
ඊට අදාළව ලබන 1 වනදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකරන බවද සභාපතිවරයා කියා සිටියා.
ප්‍රමිතියට වඩා වැඩි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගුවීම හේතුවෙන් මෙරටින් අපනයනය කළ රුපියල් බිලියනයක පමණ වටිනාකමක් සහිත තේ තොගයක් ප්‍රතික්ෂේප කිරීමට ජපානය කටයුතු කර තිබුණා.
ඒ, එරට ප්‍රමිතීන් ඉක්මවා එම්.සී.පී.ඒ. රසායනිකය ශ්‍රී ලංකා තේවල අඩංගුවීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකද සඳහන් කළා.