Gossips

තේරීම් කාරක සභාව ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ජාවක්

පත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙනවා.
පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල කාමරයේ පැවැත්වෙන මෙම සාකච්ජාවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, නියෝජ්‍ය මහ ලේකම්වරයා, වේත්‍රධාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
කතානායක කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ තේරීම් කාරක සභාවේ සංයුතිය සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙන බවයි.
පසුගිය සඳුදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙලෙස තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා කෙරුණා.
එහෙත් එදින සිට මේ දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙකම තේරීම් කාරක සභාව තුල බහුතර සාමාජිකත්වයක් ඉල්ලා සිටීම හේතුවෙන් උද්ගතව ඇත්තේ ගැටළුකාරී තත්ත්වයක්.
කෙසේ වෙතත් හෙට දිනය නිවාඩු දිනයක් වන බැවින් අද දිනය තුල ඒ ඒ දේශපාලන පක්ෂ තේරීම් කාරක සභාව සඳහා තමන්ගේ නියෝජිතයන් නම් කළ යුතු වනවා.
ආණ්ඩු පක්ෂය මේ වනතුරුත් තම නියෝජිතයන්ගේ නම් බාර දී නොමැති අතර ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ කළ විමසීමකදී සඳහන් කළේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සාකච්ජා කිහිපයක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බවයි.
පෙරවරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය ද ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව තිබූ අතර ඉන් පසුව ආණ්ඩු පක්ෂ නියෝජිතයන් පිළිබඳව අවසන් තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.
මේ අතර එක්සත් ජාතික පක්ෂය අද පෙරවරුවේ රැස්වී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තම නියෝජිතයන් නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කර තිබෙනවා.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සඳහන් කළේ ඒ පිළිබඳව අවසන් තීරණයකට මේ වනවිටත් එළඹී නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය පිළිබඳව කතානායකවරයා සිය මතය ප්‍රකාශ කිරීමෙන් පසු තම සාමාජිකයන් නම් කරන බවයි.
දෙමල ජාතික සන්ධානය ද අද දිනය තුල මේ පිළිබඳව අභ්‍යන්තර සාකච්ජා කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව සඳහා කතානායකවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා මෙන්ම කාරක සභා සභාපතිවරයා ද නිල බලයෙන් පත් වනවා.
මීට අමතරව විරුද්ධ පක්ෂ නායකවරයා ද මෙම කාරක සභාව නියෝජනය කරන අතර සෙසු මන්ත්‍රීවරුන් 08 දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ අතර බෙදී යාමට නියමිතයි.
එළඹෙන සිකුරාදා දිනයේ විධිමත් ලෙස පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට නම් හෙට රජයේ නිවාඩු දිනයක් වන බැවින් අද දිනය තුල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයන් පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය යුතු වනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ සිද්ධීන්වලදී සභා ගර්භයේ දේපලවලට සිදු වූ හානි පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා දේශීය රක්ෂණ සමාගමක් අද පස්වරුවේ පාර්ලිමේන්තුව නිරීක්ෂණය කිරීමට නියමිතයි.
රක්ෂණ ආවරණය ලැබීමෙන් පසු හානි වී ඇති පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති උපකරණ යලි පිලිසකර කිරීමට කටයුතු සිදු කරන බවයි එහි මූල්‍ය අංශය සඳහන් කළේ.