Gossips

තේරීම් කාරක සභාවට පක්ෂවලින් නම් දීම අද

තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අද (21) සිය නියෝජිතයන්ගේ නම් කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව අද සිය නම් ලබාදීම සිදුකරන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ද අද තේරීම් කාරක සභාවට සිය නියෝජිතයින් නම් කිරීමට නියමිතව තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණද අද සිය නම් කථානායකවරයා වෙත භාරදෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා වූ තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීමේදී බහුතරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුවහොත් එම තේරීම් කාරක සභාව පත් කිරීම ගැටළු සහගත වන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ඊයේ (20) සඳහන් කළා.
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය තේරීම් කාරක සභාව තුළ තම තමන්ට බහුතර සාමාජිකත්වයක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීම ඊට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, බ්‍රහස්පතින්දාට ඉල්පුර පසළොස්වක පොහොය යෙදීම නිසා අද (21) දිනයේ ඊට අදාළ සාමාජිකයන් නම් කළ යුතුයි.
එහෙත් සාමාජික සංඛ්‍යාව පිළිබඳ එකඟතාවකට පැමිණීමට නොහැකිවුවහොත් තේරීම් කාරක සභාව පත් කිරීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළා.
මෙම තේරීම් කාරක සභාව කථානායකවරයා ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සැදුම් ලබනවා.
අද දිනයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ තේරීම් කාරක සභාව සඳහා කථානායකවරයාට නාම යෝජනා භාරදිය යුතු අතර, සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසිනුයි එම නම් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.
මෙම තේරීම් කාරක සභාව තුළින් අනෙකුත් සියලුම කාරක සභා වල ක්‍රීයාකාරීත්වය සහ ඒවාට මන්ත්‍රීවරුන් පත් කිරීමද සිදු කෙරෙනු ඇති.