Gossips

තේරීම් කාරක සභාවට නම් දීම කල් යයි – මහජන සහ කථානායක ගැලරිය අනිද්දාත් වැසේ

පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබෙනවා.
වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි.
මීට අමතරව එදිනට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගිය සඳුදා දිනයේදීද පාර්ලිමේන්තුව රැස්වූ අතර, එදින ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි පියවර ගැනුනේ.
මේ අතර අනිද්දා පත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා තවමත් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා භාරදී නැහැ.
ඒ ඒ දේශපාලන පක්ෂ විසින් අද දිනයේදීත් මේ පිළිබඳව සාකච්ඡා සිදුකරන බවයි එහි ප්‍රකාශකයන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී තේරීම් කාරක සභාවේ සංයුතිය සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති අතර, සංයුතිය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සඳහන් කළේ.
කෙසේ වෙතත් අදාළ දේශපාලන පක්ෂ විසින් සිකුරාදා උදෑසන 10 ට පෙර තේරීම් කාරක සභාවට පත් කරන නියෝජිතයින් සම්බන්ධයෙන් කථානායකවරයාට දැනුම්දිය යුතුයි.
පසුගිය සදුදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා කෙරුණා.
සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව සඳහා කතානායකවරයා නිල බලයෙන් පත් වනවා.
මීට අමතරව විරුද්ධ පක්ෂ නායකවරයා ද මෙම කාරක සභාව නියෝජනය කරන අතර සෙසු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ අතර බෙදී යාමට නියමිතයි.
එහෙත් එදින සිට මේ දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙකම තේරීම් කාරක සභාව තුල බහුතර සාමාජිකත්වයක් ඉල්ලා සිටීම හේතුවෙන් උද්ගතව ඇත්තේ ගැටළුකාරී තත්ත්වයක්.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය සඳහන් කළේ තමාට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව ඇති බැවින් තේරීම් කාරක සභාවේ බහුතරයද විපක්ෂයට හිමිවිය යුතු බවයි.
ඒ අනුව විපක්ෂයට නියෝජිතයන් හත්දෙනෙකු සහ ආණ්ඩු පක්ෂයට නියෝජිතයින් පස්දෙනෙකු පත් කිරීම සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ආණ්ඩු පක්ෂයද අනිද්දා පත් කිරීමට නියමිත තේරීම් කාරක සභාව සඳහා බහුතරය ඉල්ලා ඇති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඒ පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කර ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ සිද්ධීන්වලදී සභා ගර්භයේ දේපලවලට සිදු වූ හානි පිළිබඳව සොයාබැලීම සඳහා දේශීය රක්ෂණ සමාගමක නියෝජිතයන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා.