Gossips

තේරීම් කාරක සභාවටත් බහුතරය හරස් වෙයි – එ.ජා.පෙ අරලියගහ මන්දිරයට රැස්වේ

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඒ ඒ පක්ෂවලින් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා.
ආණ්ඩු පක්ෂය සඳහන් කළේ තමන්ට මෙම තේරීම් කාරක සභාවේ වැඩි බහුතරයක් ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත්, මෙම තේරීම්කාරක සභාවේ වැඩි බහුතරය තමන්ට හිමිවිය යුතු බව විපක්ෂය ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 122ක් පවතින නිසා තේරීම් කාරක සභාවේ බහුතරය ද තමන්ට ලැබිය යුතුය යන්නයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.
තේරීම් කාරක සභාවක් කථානායකවරයා ඇතුළු 12 දෙනෙකුගෙන් සැදුම් ලබනවා.
ඊයේ දිනයේදී රැස්වූ පක්ෂ නායක හමුවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කර ගත යුතු බවටයි.
ඒ අනුව ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දුන්නේ වහාම තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීම සිදුකළ යුතුය යන්නයි.
තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් නම් කොට හෙට දිනයේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාරදෙන බවයි අමාත්‍ය එස්.බී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන අතර ඒ අනුව මෙම කාරක සභාව සඳහා පත් කෙරෙන එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් හෙට දිනයේ නම් කරන බවයි හිටපු අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ.
කෙසේ වෙතත්, තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත් කිරීමේදී බහුතරය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට හිමි විය යුතු බවයි හිටපු අමාත්‍ය, ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද සහ හෙට මහනාහිමිවරුන් දැනුම්වත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගොස් ඇති බවයි මහනුවර හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද හෙට දිනයේදී තේරීම් කාරක සභාවට තම නියෝජිතයින්ගේ නම් ලබාදීම සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ.