Gossips

තෙලිප්පලෙයි ගැටුමට පස්දෙනෙකු අල්ලයි

යාපනයේ – තෙලිප්පලෙයි පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, චුන්නාකම් පොලීසිය සිදුකළ මෙහෙයුමකදියි.
යාපනය – තෙලිප්පලෙයි – මල්ලාකම් මංසන්ධියේ පිහිටි දේවස්ථානයක් අසළ ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගත්තා.
එය සමථයකට පත් කිරීමට පොලීසිය මැදිහත් වූ අතර, ගැටුමට මුල්වූ පිරිස් තියුණු ආයුධවලින් පොලීසියට පහරදී තිබුණා.
එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ මල්ලාකම් ප්‍රදේශයේම පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නැමැති 31ක් හැවිරිදි පුද්ගලයෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවේ ඉන් පසුවයි.
ඒ අනුවයි මෙලෙස ගැටුමට මුල්වූ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම යාපනය – කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කෝපායි – කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේදී සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ ගොවිතැන් කටයුතු නිම කිරීමෙන් පසු නිවස වෙත ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක්.