Gossips

තෙල් සංස්ථා ගැටුමට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය – සේදවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව කටයුතු කළ අර්ජුන රණතුංග තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුකාරී තත්ත්වය හමුවේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වෙමින් කලහකාරී ලෙස හැසිරුණු බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා. සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග, ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා පස්වරුවේ දෙමටගොඩ තෙල් සංස්ථා මුලස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ගම්පොළ – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.
වෙඩි තැබීම සිදු වූ දිනයේදීම වෙඩි තැබීම සිදුකළ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීවරයා අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 දක්වා රක්ෂිත බන්ධනාගර කර තිබෙනවා.
පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග ද පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 29 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබුවා.