Gossips

තෙල් – මුදල් අවුල විසදන යෝජනාවක්, කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ඛනිජ තෙල් සංස්ථාව සහ මුදල් අමාත්‍යාංශය අතර පවතින අනවබෝධය දුරුකරලීම සඳහා ඊට අවශ්‍ය කරුණු ඇතුළත් විශේෂ පත්‍රිකාවක් අද (10) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා ඉහළ දැමූ ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පනතට පටහැනිව සිදුකර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.
කෙසේ වෙතත්, ඊට පසු දින ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දුන්නේ යළිත් පැරණි මිලටම ඉන්ධන අලෙවි කරන ලෙසටයි.
මෙලෙස මුදල් අමාත්‍යාංශය වැඩි කළ ඉන්ධන මිල ගණන් ක්‍රියාත්මක නොකරමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත සිදුකළ දැනුම් දීම පසුගිය දින කිහිපය තුළම කතාබහට ලක්වුණා.