Gossips

තෙල් මිලේ වෙනස ගැන තීරණය අද

ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන කමිටු රැස්වීම අද පස්වරුවේ පැවැත්වෙනවා.
එහිදී ඉන්ධන මිල ඉහළ දැමීම හෝ පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.
ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙක්, මහා භාණ්ඩාර නියෝජ්‍ය ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ද අයත්.
ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 72.30 ක් ලෙසයි.
එමෙන්ම, සිංගප්පූරු වෙළඳපොලේ පෙට්රල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.3 ක් ලෙස සටහන් වූ අතර, ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86.17 ක් ලෙස සටහන් වුණා.
පෙට්‍රල් හා ඩීසල් මිල පසුගිය ජුලි මස 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ පසුගිය මැයි මාසයේ හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රයට අනුවයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 08 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ ගියා.
ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් මෙන්ම සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 10 කින්ද ඉහළ දැමුණා.
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළයාමේ තත්ත්වයක් පවතින නිසා යළි ඉන්ධන මිල සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බවටයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.