Gossips

තෙල් බෝයාවට සම්බන්ධ නළයකට හානි

කොළොන්නාව සහ සපුගස්කන්ද තෙල් ගබඩා පර්යන්තවලට බොරතෙල් ප්‍රවාහනය කරන බෝයාවේ සිට තෙල් රැගෙන එන නෞකාවලට සම්බන්ධ කෙරෙන නළ මාර්ගයට හානි පැමිණ තිබෙනවා.
එම නළ මාර්ගය කොටස් 24 කින් සමන්විත වන අතර, ඉන් 11 වන කොටසට මෙලෙස හානි සිදුව ඇති බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරියෙකු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ.
අදාළ නළ මාර්ගය හානියට පත්වන අවස්ථාවේ බෝයාවට තෙල් සැපයීමක් සිදු නොවූ හෙයින් අවදානමක් නොමැති බවද ඔහු කියා සිටියා.
මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් නළ මාර්ගයට මෙලෙස හානිවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීල් ජයසේකරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අද (18) දිනය තුළදී හානියට ලක්වූ නළය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.