Gossips

තෙල්දෙණිය සහ දිගන සිදුවීම් පිළිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක්

සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙසට සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට උපදෙස් ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවු නොසන්සුන්කාරී තත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සඳහන් කළේ ඊයේ සවස ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී මෙම උපදෙස් ලබාදුන් බවයි.
එමෙන්ම ඕනෑම ආකාරයක නොසන්සුන්කාරී තත්වයක් පානය කිරීමට සුදානම්ව සිටින ලෙසටත් ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.
ඊයේ රාත්‍රිය පුරා මහජන නියෝජිතයන්, ආගමික නායකයන්, පොලිස්පති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තත්වය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබාදුන් බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.
සියලු ජාතිවාදී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් ලෙස තරයේ හෙළා දකින අතර වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීති විරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියා.
සංවිධානාත්මක හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බවයි ඔහු සඳහන් කළේ.
මෙම අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට ද රජය විසින් කටයුතු කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළා.