Gossips

තෙල්දෙණියෙන් උණුසුම් වූ මහනුවර

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල දෙපාර්ශවයක් අතර ඇති වූ කලහකාරී සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පහරදීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවය අතර මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශ වෙත ද උපදෙස් ලබාදී තිබෙනවා.
තෙල්දෙණිය ප්‍රදේශයේදී ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මඟ හරස් කර පහර දී තිබුණේ පසුගිය 22 වන දායි.
එහිදී තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි අතර, ඔහු පෙරේදා ජීවිතක්ෂයට පත්වුණා.
ඔහුගේ මරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ සිට තෙල්දෙණිය නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී ඔවුන් වෙළඳසැල් කිහිපයක් ගිනි තබා විනාශ කර තිබුණා.
පහරදීමට විරෝධය පළ කරමින් පැවති විරෝධතා තෙල්දෙනිය නගරයේ සිට දිගන නගරය දක්වා අද උදෑසන වන විට ව්‍යාප්ත වූ අතර, එහිදී ද දේපළ හානි සිදුකරමින් එම පිරිස් විරෝධතාවල නිරත වී තිබෙනවා.
ඒ අනුවයි ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කැදවනු ලැබුවේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, කලහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් විසුරුවා හැරීම සඳහා දිගන නගරයේදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.
අනතුරුව තෙල්දෙණිය නගරයේ පැවැති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ අද පස්වරු 3.30ට පමණයි.
මෙම සිද්ධීන් සැලකිල්ලට ගනිමින් අද පස්වරුවේ සිට හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ දිගන නගරයේදී සිදුකෙරුණා.
මේ අතර, ඇති වූ කලහකාරී සිද්ධියත් සමඟ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියළුම පාසල් හෙට දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ප්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා සියලු පාර්ශව සමඟ වගකීමෙන් කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ.