Gossips

තෙදිනක් පුරා පැවැත්වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුව සාර්ථකව අවසන්

ජපානයේදී තෙදිනක් පුරා පැවැත්වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුව සාර්ථකව අද අවසන් වුණා.
ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් මහා සඟ සමුළුව ජපානයේ ට්සුකුබා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කරගනිමින් තෙදිනක් පුරා පැවැත්වුණා.
ශ්‍රී ලංකා මහාබෝධී සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් ට්සුකුබා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් මෙම ජාත්‍යන්තර සඟ සමුළුව සංවිධානය කළා.
මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ හිරු ටීවී හිරු එෆ් එම් ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයයි.
බුදුදහමේ චිරපැවැත්ම උදෙසා සාකච්ඡා කිරීම සඳහා සඟ සමුළුවට සහභාගී වූ භික්ෂුන් වහන්සේ අද දවසේ දී ජපානයේ
විහාරස්ථාන වෙත වැඩම කළා.
සම්මන්ත්‍රණයෙන් එළැඹි තීරණයන්ට අනුව ඊට එක්වූ ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේ ජපානයේ දෙවැනි විශාලතම විහාරස්ථානය වන ට්සුකූජි හොන්ව්ජි විහාරස්ථානයට වැඩම කළා.
ඒ බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සහ ඊට ජපන් භික්ෂුන් වහන්සේගේ දායකත්වය ලබා ගත හැකි අයුරු සාකච්ඡා කිරීමේ අරමුණින්.
සඟ සමුළුව පිළිබඳ ජපන් භික්ෂුන් වහන්සේ දැනුවත් කෙරුණු අතර ඔවුන් සඳහන් කළේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතිමය වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට ජපන් භික්ෂු ප්‍රජාව සූදානම් බවයි.
ලොව පුරා බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා සඟ සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් ට්සුකූජි විහාරස්ථ භික්ෂූන් වහන්සේ සිය ප්‍රසාදය පළ කර සිටියා.
සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ට්සුකූජි හොන්ව්ජි විහාරස්ථානයේ දී දහවල් දානය ද පිරිනැමුණා.
පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි – පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
– බෞද්ධ පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් අපේ රට තුළ භික්ෂූන්වහන්සේලා සියලු දෙනා එකතු වෙලා මේ පැවැත්වූ රැස්වීම ඉතාමත් වැදගත් රැස්වීමක් හැටියට අපි දකිනවා.මොකද අපේ රට පරිහානියෙන් පරිහානියට යන අවස්ථාවක අපේ රටේ සියලුම ජාතීන් අපි එකතු වෙලා එක මවකගේ දරුවෝ වගේ කටයුතු දාලා දීමේ වගකීම පවතින්නේ මේ අපේ බෞද්ධ භික්ෂූන්වහන්සේටයි. ඉතිං උන්වහන්සේලා අද ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා.
පූජ්‍ය වල්පොල පියනන්ද හිමි – ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක
– අපි මේ ජාත්‍යන්තර ශ්‍රී ලංකා සංඝ සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ ම සිටින සියලුම අපේ හාමුදුරුවන් වහන්සේලා එකතු වෙලා ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයට දියුණුව සදහා උදව් උපකාර කිරීමයි. මේ සදහා අපිට විශේෂ උදව් උපකාර කරන හිරු නාලිකාවේ සභාපතිතුමාත් ඒ කාර්ය මණ්ඩලයටත් අනේක වාරයක් පිං දෙනවා.
ජාත්‍යන්තර මහ සඟ සමුළුවේ දෙවැනි අදියර ලබන වසරේ සැප්තැම්බර් මාසයේ ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිතයි.