Gossips

තුන්දෙනෙකුට මරු කැඳවූ මහවැව අනතුරින් පසු කොන්දොස්තර අතුරුදන්

පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැඳවමින් මාරවිල – මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුරෙන් පසු එහි කොන්දොස්තරවරයා පලාගොස් තිබෙනවා.
එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
ඔවුන් දෙදෙනාද තුවාල ලබා මේ වනවිට හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනතුරෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු බව පොලීසිය අද පෙරවරුවේ ප්‍රකාශ කළද එම සංඛ්‍යාව තුනක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පසුව සඳහන් කළා.
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය මහවැව මංසන්ධිය ආසන්නයේදී ලොරි රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව අසළ තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අනතුර සිදුවුණා.
සිද්ධිය වූ අවස්ථාවේදීම එහි සිටි මගීන් 19 දෙනෙකු රෝහල් ගතකිරීමට ප්‍රදේශවාසීන්ට සහ පොලීසියට හැකිවූ අතර, තුන්දෙනෙකු බස් රථයෙන් ඉවතට ගැනීමට පැය 3 කට ආසන්න කාලයක් ගතවුණේ ට්‍රාන්ස්ෆෝමරය සවිකර තිබූ කණුව බස් රථය මතට වැටී තිබීම හේතුවෙන්.
තුවාල ලැබූ මඟීන් පිටතට ගන්නා අවස්ථාවේදීත් තුන්දෙනෙකු මියගොස් සිටි අතර, ඉන් දෙදෙනෙකු අවුරුදු 40 සහ 42 යන වයස්වල පසුවන මාරවිල – ගෙඟ්වාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනෙක් පුද්ගලයා පුත්තලම – එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
තුවාලකරුවන් මේ වනවිට හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
රියදුරන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාවේ සිට පුත්තලම දක්වා බස්රථය ධාවනය කර ඇති අතර, අනෙක් පුද්ගලයා පුත්තලමේ සිට කොළඹ දක්වා බස් රථය ධාවනය කර ඇති බවයි හෙළිවී ඇත්තේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බස් රථය අධික වේගයෙන් පැමිණි බවයි.