Gossips

තුන්දෙනෙකුට මරු කැදවූ, මහවැව බස් අනතුරේ රියදුරු අත්අඩංගුවට

පුද්ගලයින් තුන්දෙනෙකුට මරු කැඳවමින් හලාවත – මහවැව දී සිදුවූ අනතුරට සම්බන්ධ පෞද්ගලික මගී බස් රථයේ රියදුරා පොලීසිය අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදියි.
කෙසේ වෙතත්, අනතුරෙන් පසු පළා ගිය බස් රථයේ කොන්දොස්තරවරයා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය මහවැව මංසන්ධිය ආසන්නයේදී ලොරි රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී, රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව අසළ තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අද අලූයම 4.30ට පමණ මෙම අනතුර සිදුවුණා.
සිද්ධිය වූ අවස්ථාවේදීම එහි සිටි මගීන් 19 දෙනෙකු රෝහල් ගතකිරීමටයි ප්‍රදේශවාසීන් සහ පොලීසිය කටයුතු කළේ. එහිදී ට්‍රාන්ස්ෆෝමරය සවිකර තිබූ කණුව බස් රථය මතට වැටී තිබීම හේතුවෙන් බස් රථයේ සිර වී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු ඉන් ඉවතට ගැනීමට පැය 3 කට ආසන්න කාලයක් ගතවූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අනතුරෙන් මිය ගිය පුද්ගලයන් තුන්දෙනාගෙන් එක් අයෙකු මුන්දලම – මංගලඑළිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් පුද්ගලයා වනාතවිල්ලූව – ගඟේවාඩිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.
මිය ගිය සෙසු පුද්ගලයා එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
පොලීසිය කියා සිටියේ රියදුරු අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.