Gossips

තීරණයක් ගන්න – ජනපති, අගමැතිට කියයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිලට ගෙන තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඒ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර, ජනාධිපති නිළ නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදියි.
පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව සඳහන්.
ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිඵල අනුව තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ඊට ප්‍රථම තීරණයක් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ආණ්ඩුව භාර ගන්නා ලෙස එම සාකච්ඡාවේදී යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බව සඳහන්.
කෙසේ නමුත්, ඒ සඳහා එකඟත්වයකින් තොරවයි සාකච්ඡාව අවසන් වී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ ජනතාව තීන්දුවකට එළඹී ඇති බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු විකල්පයක් බවයි.
ඊට පෙර තීරණයකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
එහෙත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ට, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව අගමැතිවරයාගේ පාර්ශවයෙන් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවුණා.
ඊට එක්වීමෙන් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ ඉදිරියට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ගැටළුවක් මතුවන්නේ නම්, එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් බිහි කිරීමට හැකියාවක් පවතින බවයි.
මේ අතර, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දු, තීරණ ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
එහිදී පක්ෂය තුළ සිදුවිය යුතු වෙනස්කම් සහ මැතිවරණ ප්‍රතිඵලවල පසුවිපරමක් ද සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.