Gossips

තිසරගේ පිති ප්‍රහාරයට නවසීලන්ත නායකයාගේ ප්‍රතිචාරය මෙන්න

නවසීලන්තයට එරෙහිව තිසර පෙරේරා ලබාගත් වේගවත් ශතකය එක්දින ක්‍රිකට් තරඟවල නව යුගයක් සළකුණු කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා.
තිසර පෙරේරා සිය ශතකය පන්දු 57 කින් රැස් කළ අතර, පන්දු 74 කදී ලකුණු 140 ක් ලබාගත්තේ හයේ පහර 13 ක් සහ හතරේ පහර 8 ක් සමඟින්.
සිය 147 වන එක්දින තරඟයේදී එම දස්කම ප්‍රදර්ශනය කළ තිසර පෙරේරා, කොල්කටා ඊඩ්න් ගාඞ්න් ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් දැක්වූ දස්කම් සිහිපත් කරන බවයි විලියම්සන් සඳහන් කළේ.
තිසර සිය පිති ප්‍රහාරය තුලින් නවසීලන්ත කණ්ඩායම අඛන්ඩව පීඩනයට ලක් කළ බව ඔහු කියා සිටියේ උඩ පන්දු ගිලිහීයාම පිළිබඳවද කණස්සල්ල පළ කරමින්.
සිය මංගල එක්දින ශතකය රැස් කරගැනීම පිළිබඳව අදහස් දැක්වූ තිසර පෙරේරා කියා සිටියේ තමා පිතිකරණ ලැයිස්තුවේ අංක අටේ සිට හත දක්වා ඉහළ දැමීම සඳහා පුහුණුකරුවන් ගනු ලැබූ තීරණය ඊට සහයක් වූ බවයි.
නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් සමඟද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට තමා වගකීමෙන් යුතු උත්සාහයක නිරතවූ බව, තිසර පෙරේරා කියා සිටියා.
එමෙන්ම තමා දිරිගැන්වූ පුහුණුකරුවන් වන චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීරට තම ඉනිමේ පූර්ණ ගෞරවය හිමිවන බවයි ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නව නායක ලසිත් මාලිංග කියා සිටියේ තිසර පෙරේරා අදහාගත නොහැකි ඉනිමක් ක්‍රීඩා කළ බවයි.
ඔහු ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියසටම රැගෙන යාම ගැන සතුටුවන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ නමුත් මැදපෙළ පිතිකරුවන් අතර සබඳතා ගොඩනැගීමට නොහැකිවීම හේතුවෙන් තරගය පරාජය වූ බව පැවසූ මාලිංග සියලු තත්ත්වයන්ට කණ්ඩායම මානසික වශයෙන් සූදානම් විය යුතු බවද අවධාරණය කළා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසාන එක්දින තරඟය ලබන අඟහරුවාදා නෙල්සන් හිදී පැවැත්වීමට නියමිතයි.