Gossips

තැපැල් සාකච්ඡා අදත් අසාර්ථකයි

තැපැල් සේවකයින් සහ බලධාරින් අතර අද පැවති සාකච්ඡා ද අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.
ඔවුන් තම ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා අද දහවල් කොළඹ දී විරෝධතා පා ගමනක ද නිරත වූ අතර, පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට උත්සාහ කළා.
එහිදී වෘත්තීය සමිති සාමාජිකයින් 7 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවසර ලැබුණු අතර, ජනාධිපති සහකාර ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡාව ද අසාර්ථක වූ බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.
තැපැල් සේවකයින්ගේ වර්ජනයට අදට දින 8 ක් ගතවනවා.
රටපුරා ලිපි හෝ පාර්සල් බෙදා හැරීම සිදුකර නොමැති අතර මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාලවල ලක්ෂ 5 කට අධික ලිපි සහ පාර්සල් ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, තැපැල් වර්ජනය හේතුවෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය ජුලි 10 වන දා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.