Gossips

තැපැල් ස්ථානාධිපතිවරුන්, හෙට මැදියම් රැයේ සිට වර්ජනයක

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට 5 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා දෙදින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ සියලුම තැපැල් ස්ථානාධිපතිවරුන් මෙම වැඩ වර්ජනයට සහය දක්වන බවයි.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය තැපැල්පති රෝහණ අබේරත්නගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ වර්ජනයට මුහුණදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන්නැයි ඉල්ලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අද සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මේ අතර, ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ සියයට 25ක වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන බවයි.