Gossips

තැපැල් වර්ජනය සතියකට ළං වෙයි – ලිපි සහ පාර්සල් ලක්ෂ ගණනක් ගොඩ ගැසේ

සිය වැඩ වර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය වෘත්තීය සමිතිය මේ වන විට තීරණය කර ඇති බවයි.
මෙතෙක් බලධාරීන්ගෙන් කිසිදු සාකච්ඡාවක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, තැපැල් වර්ජනය හේතුවෙන් තරඟ විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කළා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ එම කාර්යාලවල විශේෂ ස්ථාන ඒ සඳහා වෙන් කර ඇති බවයි.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ මේ මස පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු විභාග නියමිත පරිදි පැවැත්වෙන බැවින් තැපැල් වර්ජනය හේතුවෙන් විභාග ප්‍රවේශ පත්‍රය අපේක්ෂකයෙකු හට නොලැබුණ ද විභාගය සඳහා පෙනී සිටිය හැකි බවයි.
ප්‍රවේශ පත්‍රය ලැබී නැත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ 0112 78 52 30 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි වනු ඇති.
තැපැල් සේවක වර්ජනයට බලධාරින් පිළිතුරු ලබානොදීම හේතුවෙන් ලබන 18 වනදා තැපැල් සේවකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹදී පාගමනක් පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
6 වන දිනටත් ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සියලුම තැපැල් ක්‍රම අඩපණ වී ඇති බවත්, ලක්ෂ 15කට ආසන්න ලිපි සහ තැපැල්පත් ගොඩගැසී ඇති බව ද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගිය 11 වනදා මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළා.