Gossips

තැපැල් වර්ජනය පැවතුනොත් ජුනි විභාග එලෙසම

තැපැල් වර්ජනය හේතුවෙන් තරඟ විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ එම කාර්යාලවල විශේෂ ස්ථාන ඒ සඳහා වෙන් කර ඇති බවයි.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ මේ මස පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලූ විභාග නියමිත පරිදි පැවැත්වෙන බැවින් තැපැල් වර්ජනය හේතුවෙන් විභාග ප්‍රවේශ පත්‍රය අපේක්ෂකයෙකු හට නොලැබුණ ද විභාගය සඳහා පෙනී සිටිය හැකි බවයි.
ප්‍රවේශ පත්‍රය ලැබී නැත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ 0112 78 52 30 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි වනු ඇති.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහබැංකු කළමනාකරණ අභ්‍යාසලාභී, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ඇතුලූ විභාග කිහිපයක් මේ මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි.
තැපැල් සේවක වර්ජනයට බලධාරින් පිළිතුරු ලබානොදීම හේතුවෙන් ලබන 18 වනදා තැපැල් සේවකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹදී පාගමනක් පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
පස්වන දිනටත් ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සියලූම තැපැල් ක්‍රම අඩපණ වී ඇති බවයි එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගිය 10 වනදා මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළා.