Gossips

තැපැල් වර්ජනය තවදුරටත්

තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වෙනවා.
ඒ අනුව අද දහවල් 12 ට තම ගැටලූ වලට විසඳුම් ලබා ගැනීම සඳහා නැවත සාකච්ඡාවක් සිදුකරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඊයේ දිනයේ ද තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්, එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එස්.ඩී.බී මීගස්මුල්ල සහ තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කළා.
එම සාකච්ඡා අවසන් වූයේ විසඳුමකින් තොරවයි.
කෙසේ වෙතත්, අද දිනයේදී අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ සම්බන්ධයෙන් තීරණයකට පැමිණෙන බවයි තැපැල් අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් පසුගිය දා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අඛණ්ඩව 16 වන දිනටත් අද දිනයේදී වර්නයේ නිරතව සිටිනවා.
ඊයේ දිනයේ ද තැපැල් සේවකයින් දිවයිනේ ප්‍රදේශ රැසක පාගමන්වල සහ දේව කන්නලව්වල නිරත වුණා.
අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීම පිළිබඳව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.
මේ අතර, තැපැල් වර්ජනය හේතුවෙන් රජයෙන් ලබාදෙන වකුගඩු ආධාර හා වැඩිහිටි දීමනා නිසි පරිදි ලබාදීම මේ වනවිට ඇණ හිට තිබෙනවා.
ඒ හේතුවෙන් එම දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජසේවා අංශය මගින් නිකුත් කිරීමට සිදුව ඇති බව සඳහන්.
මෙම දීමනා ලබා ගැනීමට මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද උදෑසන දිගු පෝලීම් දක්නට ලැබුණු බවයි මහියංගනය හිරු වාර්තාකරු කියා සිටියේ.