Gossips

තැපැල් වර්ජනයෙන් විදෙස් තැපෑල බිඳ වැටීමේ අවදානමක්

තැපැල් සේවකයන් දින 10ක් තිස්සේ ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාත්‍යන්තර තැපැල් කටයුතු බිද වැටීමේ අවධානමක් මතුව තිබෙනවා.
තැපැල්පති රෝහණ අබේරත්න මීට පෙර කියා සිටියේ වර්ජනය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුල විදෙස් ලිපි සහ භාණ්ඩ රැසක් ගොඩ ගැසී ඇති අතර මේ නිසා දෛනිකව විශාල ප්‍රමාද ගාස්තුවක් එම රටවලට ගෙවීමට සිදුව ඇති බවයි.
වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයින පුරා තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් විශාල ප්‍රමාණය මේ වනවිට සිරවී ඇති බව ඔහු කියා සිටියා.
ඕමානයේ සිට ශ්‍රී ලංකාවට ලිපි සහ තැපැල්පත් මෙන්ම භාණ්ඩ එවීම අත්හිටුවූ බව එරට ප්‍රකාශිත ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කර තිබුණා.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද (20) පෙරවරුවේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක්ද ආරම්භ කළේ සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
තැපැල්පති රෝහණ අබේරත්න ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ වර්ජනය අවසන් කර පැමිණෙන්නේ නම් තමන් සාකච්ඡා සඳහා සූදානම් බවයි.
කෙසේ වෙතත්, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ වර්ජනය නතර කර සාකච්ඡා සඳහා පැමිණීමට තම වෘත්තීය සමිති සූදානම් නොමැති බවයි.