Gossips

තැන්පතුකරුවන් අදත් ඊ.ටී.අයි. ආයතනය ඉදිරිපිට විරෝධතාවයේ

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් පිරිසක් බොරැල්ල – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් විරෝධතාවයක නිරත වුණා.
ඊ.ටී.අයි. ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම්වලට අදාළව මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මීට පෙරද අවස්ථා රැසකදී වාර්තා වූ අතර, ගණුදෙනුකරුවන් එම මූල්‍ය ආයතනයට පැමිණි සෑම අවස්ථාවකදීම ඔවුන් මඟ හැර සිටීමටයි ඊ.ටී.අයි. ආයතනයේ බලධාරීන් කටයුතු කරනු ලැබුවේ.
කෙසේ වෙතත්, විරෝධතාවයේ නිරත වූ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පසුව පාගමනින් විජේරාම මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස ඉදිරිපිටට පැමිණ යළිත් විරෝධතාවයේ නිරත වුණා.
එහිදී විරෝධතාකරුවන් දෙදෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හමුවී සංදේශයක් භාරදීමටද අවස්ථාව උදාවුණා.
එහිදී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා විරෝධතාකරුවන්ට පවසා ඇත්තේ ඊ.ටී.අයි. ගණුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.
මේ අතර, ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනය මහ බැංකුවේ අවසරයකින් තොරව මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බවට ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.