Gossips

ත්‍රීවීල්, පාසල් වෑන්, පෞද්ගලික බස් ගැන ජාතික සමීක්ෂණයක්

ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ සහ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි ජාතික සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
අදාළ සේවා සපයන රියදුරන් සහ හිමිකරුවන් මුහුණදෙන ගැටළු මෙන්ම ඒවා භාවිත කරන මගී ජනතාවට පවතින ගැටළු පිළිබඳව මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කෙරෙනු ඇති.
ලබන දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිත මෙම සමීක්ෂණයේදී එම ප්‍රවාහන සේවා ගුණාත්මක මට්ටමකට ගෙන ඒම සඳහා උසස් මට්ටමේ අදහස් සහ යෝජනා ලබාගැනීම සිදු කෙරෙනවා.
මේ අතර ත්‍රිරෝද රථ නියාමනය කිරිම සඳහා කොමිසම පත් කිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළ යෝජනා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර, එම යෝජනා නීතිපතිවරයා විසින් අනුමත කර ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යාංශය වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.
පසුව එය කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ යුතු වනවා. ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ප්‍රකාශ කළා.
එසේම මගීන් රැගෙන යන ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව 35 කරමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ ප්‍රතික්ෂේප කළා.
එහිදී අදාළ යෝජනාවට එරෙහිව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඇතුලූ අමාත්‍යවරුන් පිරිසක් අදහස් පළ කර තිබුණා.
කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිවරයාද අවධාරණය කර ඇත්තේ ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදීම සඳහා අවම වයස් සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බවයි.