Gossips

“ත්‍රිපිටකාභිවන්දනා සතියේ” දෙවන දිනය අදයි

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් පියවරට පූර්ණ ආශීර්වාදය ලබාදෙන බව කෙන්යාවේ නයිරෝබි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටිරාවන විමල හිමියන් පවසනවා.
ඒ, කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ නයිරෝබි නුවර පිහිටි නයිරෝබි බෞද්ධ විහාරස්ථානය වැඳපුඳා ගත් අවස්ථාවේදීයි.
මේ අතර, ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව නිමිත්තෙන් ලබන 23 වනදා දක්වා ප්‍රකාශයට පත් කෙරුණු “ත්‍රිපිටකාභිවන්දනා සතියේ” දෙවන දිනය අදයි.
අදාළ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් ලබන 23 වනදා ඓතිහාසික දළදා මාලිගාවේ මහ මළුවේදී සිදුකිරීමට නියමිතයි.
ඒ නිමිත්තෙන් අද දිනයේ සියළු දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහන් සංවිධාන කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.