Gossips

ත්‍රිපිටකය සංරක්ෂණය කිරීමේ යෝජනාව ජනපති යුනෙස්කෝවට භාර දෙයි

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යුනෙස්කෝ සංවිධානය වෙත අද භාර දුන්නා.
ඒ ඊට අදාළව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ පැවති පුණ්‍යෝත්සවයේදීයි.
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු කෙරුනා.
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය දා පියවර ගත් අතර, එය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට ද මේවන විට පියවර ගෙන තිබෙනවා.
උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් ත්‍රිපිටකය ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ්‍රී ලාංකිකයන් වන අප සතු බවයි.
කුමන අන්දමේ විරුද්ධ අදහස් සහ අභියෝග එල්ල වුවද උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට තැබූ පියවර සාර්ථකව ඉදිරියට තබන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළ මහා නා හිමිවරුන් පෙන්වා දුන්නේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සමස්ත ලෝක බෞද්ධ ජනතාවගේම පැසසුමට ලක්වන බවයි.
ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ද එක්වුණා.